අපේ විදිහ .....
අපි ජීවත් වෙන්න ඕනේ අපිට ඕනේ විදිහටද? එහෙමත් නැත්තම් තව කාටවත් ඕනේ විදිහටද ? නොදැනුවත්වම උනත් අපි කරන්නේ තව කාට හරි ඕනේ විදිහට අපේ දේවල් කරන එක.
ගොඩක් චූටිම කාලේ අම්මගේ බල කිරීමට බත් කාපු, තාත්තගේ බල කිරීමට තිත්ත උනත් අකමැත්තෙන් බෙහෙත් බීපු කාලයක් අපි හැමෝටම තියෙන්නේ.
ස්කොලේ යන කාලේ යමක් කමක් තේරෙන වයසෙදි උනත් අපි දෙයක් තෝරගද්දි හිතන්නේ අපේ කැමැත්තට වඩා ට්‍රෙන්ඩ් එක වගේ දේවල් ගැන. 10 වසරට වගේ එද්දි අපිට සාමාන්‍ය පෙළට විෂයන් තෝරගන්න උනාම අපි බලන්නේ යාලුවෝ තෝරගෙන තියෙන්නේ මොන විෂයන්ද කියලා. සමහර වෙලාවට අපි කැමතිම විෂයන් අතෑරලා යාලුවෝ කරන සබ්ජෙක්ට් තෝරගන්න පෙළඹෙන අවස්ථා තියෙනවා.
ඊළගට උසස් පෙළ කරන්න ගියාම. අද ලංකාවේ බහුතරයක් ළමයි වැඩිහිටියෝ කැමති දේ තමා කරන්නේ. පරිපාලන ක්ෂේත්‍රයට යන්න ආස, ලෝයර් කෙනෙක් වෙන්න කැමති ළමයෙක් ඉතින් සයන්ස්, මැත්ස් කරන්න යනවා. අන්තිමට වෙන්නේ තමන් අකමැති දෙයක් අකමැත්තෙන් ඉගෙන ගන්න ගිහින් කැම්පස් යන්න තිබ්බ හීනේ හීනයක්ම වෙන එක.
එතනින් එහාට ගිහින් ජොබ් එකක් කරන්න ගියාම අපි වැඩිපුරම හිතන්නේ අපිට ලැබෙන පඩිය ගැන. පිළිගැනීම ගැන. අපි කරන රස්සාවෙන් අපිට ලැබන මානසික තෘප්තිය කොයි වගේද කියල හිතන්නෑ අපි. කසාද බදින්න කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි හොයද්දි සිංහලද - දෙමළද- මුස්ලිම්ද, උඩරටද- පහතරටද , සුදුද - කලුද - ලස්සද ,පවුලේ අය ඒ කෙනාට කැමතිද කියන එක අපි බලන්නේ. අපි කවදාවත් හිතන්නෑ මේ කෙනා එක්ක මුළු ජීවිත කාලේම අපිට ජීවත් වෙන්න ඕනේ කියන එක ගැන.
එෆ්බී , ඉන්ස්ටා මේ ඕනේම සමාජ මාධ්‍ය වලට අපි හැමවෙලාවෙම පොටෝ දානවා. ඒ දාන පොටෝ වලට අනිත් අයගේ ප්‍රතිචාරය කොහොමද කියන එක තමා අපි නිතරම හිතන්නේ. තමන්ගේ ලස්සන තමන්ට ඕනේ විදිහට විදින්න වත් අපිට බෑ.
එහෙම බැලුවම අපි ඉපදුණ දවසේ ඉදන්ම කන්නේ බොන්නේ, අදින්නේ පළදින්නේ මේ හැමදේම කරන්නේ අපිට ඕනේ විදිහට නෙමේ සමාජේ කියන මේ මහා කුලකෙට ඕනේ විදිහට. අපි අපිට ඔනේ විදිහට ජීවත් උනා නම් අපේ ජීවිත මීට වඩා ගොඩක් සරල වෙන්න තිබ්බා. ඒ වගේම මීට වඩා සතුටින් ජීවත් වෙන්නත් පුලුවන් ....
Comments
Post a Comment